මා ගැන

දූවරුන් හතර දෙනයි. එක පුතයි. ඔවුන් කුඩා කාලයේවත් තරුණ වයසේවත් දෙමාපියන්ට එතරම් කරදර ඇති කරලේ නැහැ. ශ්‍රේෂ්ඨ විද්වතුන් නොවුනත් දූන් හතර දෙනා සාමාන්‍ය උගත් කමකින් යුත් රැකියාවල යෙදුනා. ලොකු දුව දන්ත චිකිත්සකවරියක්. දෙවන දුව උපාධිධාරී ගුරුවරියක්. දුන් වැන්නිය කාර්යාලයක පරිඝනක ක්‍රියාකරයි. බාලම දුව ඉංග්‍රීසි ගුරුවරියක්. පුතාට පියා සතු ගේදොර හා වතුපිටි හිමිකරදීම නිසා රැකියාවක යෙදීමේ උවමනාවක් හෝ අවස්ථාවක් නොවීය. 

විශ්‍රාම යාමෙන් පසුව දරුවන් වෙනුවෙන් තිබූ වගකීම් වලින් අඩක් පමණ ඉටුකර ඇති බැවින් සෑම දරුවකුගේම ගෙදර ටික ටික කල් ගෙවීමට පුරුදු විය. දරුවන්ට කරදරයක් නොවී හැකි පමණින් උපකාර වීම මට මහත් සතුටක් හා සැනසුමක්ද විය. එහෙත් වැඩි කාලයක් ගත කිරීමට සිදුවන්නේ කොළඹ ලොකු දුවගේ නිවසේය. ඊට හේතුව එයාලත් සමග මා පැමිණියත් නැවත කැඳවා ගෙනයාමට දරුවකු නොඑන නිසාය. තනිව ආපසු යාමට නොහැක. 

එහි සිටින කාල සීමාව තුල අම්ම කෙනෙක් දරුවකුගේ දුක සැප සොයාබලන ආකාරයෙන් දුවත් බෑණත් මාගැන සොයනවා බලනවා. අවශ්‍ය දේ සපයා දෙනවා.

අවුරුදු විසි පහක තරම් කාලයක සිට මා ශ්‍රවනාධාරයක් පාවිච්චි කරනවා. ඒ සඳහා මූලික මුදලේ සිට අලුත්වැඩියා කිරීම්, බැටරි ලබා දීම් ආදී සෑම කටයුත්තක්ම සිදුකලේ ලොකුදුවත් ලොකු බෑණාත් ය. 

දැන් අවුරුදු පහක පමණ කාලයක සිට මට අධිරුධිර පීඩනය පවතිනවා. එය දැනගත් දිනසිට දුවත් බෑණත් හැකි උපරිමයෙන් මට වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම අවශ්‍ය බෙහෙත් ගෙනවිත් දෙනවා. 2009 වසරේ මගේ අවසරයක් ලබන්නේ නැතිව බලෙන්ම මා වෛද්‍ය වරයෙකු වෙත යොමුකොට ඇස් පරීක්ෂා කරවා, ඇසේ සුද තිබෙන බව දැනගත්තා. පානදුර රෝහලේ වෛද්‍ය ජිනෙත් ගුණසේන (ලොකු බෑනාගේ ඥාති පුතෙක්) පුතාට මා භාරකොට ශල්‍ය කර්මයකට බඳුන් කළා. ඒ සඳහා මගේම දරුවකු වගේ මට සත්කාර සංග්‍රහ කලෙත්, මා වෙනුවෙන් පූර්ණ වගකීම දරුවේත් ජිනෙත් පුතා.

ඉන්පසු නියම කරන ලද කණ්නාඩිය ලබා දුන්නෙත්, එදා සිට අද දක්වා මගේ සියලුම කටයුතු, බෙහෙත්, ආහාර හා ඇඳුම් ආදිය සපයන්නෙත් මගේ ලොකු දුව සහ බෑණා. 

ඉගෙන ගන්න, හැදෙන්න කෙනෙකුට අවශ්‍ය නම් ඒ සඳහා මූලික කරුණු අඩංගු පොත්පත් බෑණා සපයා තිබේ. එහෙත් ඒවායින් නියම ප්‍රයෝජන ගන්න කෙනෙකු නැතිවීම අවාසනාවකි. 

මෙහි ඇති අගනා බණපොත් (දේශීය මෙන්ම විදේශීය විද්වතුන් මෙන්ම පැවිදි තෙරවරුන් විසින් රචිත) සැලකිය යුතු ප්‍රමාණයක් වේ. එහෙත් ඒවා කියවීමට තරම් දරුවන්ට කාලයක් නොලැබේ. 

To be continued...

~ සිරියාවතී හේවාතුංග



Comments